ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු

හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළිත් වරෙන්තු

by Staff writer 03-10-2018 | 12:35 PM
COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගත්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළිත් විවෘත වරෙන්තුවක් නිකුත් කළා ය. ඒ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරණ සමයේ රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වික්‍රමසූරිය මහතා මහාධිකරණයෙන් ඇප ලබා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් පසුගියදා අමෙරිකාවට ගිය අතර ඔහුගේ ඇපකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුගේ බිරිඳට හා ඔහුගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළා ය. ජාලිය වික්‍රමසූරිය මහතාට අයත් සමාගම් වෙනත් ආයතන අතර කළ බව කියන ගනුදෙනු අනාවරණය කර ගැනීම සඳහා අධිකරණයෙන් ලබා ගත් නියෝග මත රාජ්‍ය බැංකු හා මූල්‍ය සමාගම් 70කට යොමු කිරීමට පියවර ගත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ ය.