කරාපිටිය රෝහලේ හෘද සැත්කම් කිරීම තවදුරටත් ඇණහිටී

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් කිරීම තවදුරටත් ඇණහිටී

by Staff writer 03-10-2018 | 11:15 AM
COLOMBO (News 1st) - කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය අංශයේ දැඩි සත්කාර ඒකකයේ වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මෙතෙක් අවසන් නොකිරීම හේතුවෙන් අසාධ්‍ය හෘද රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු කිරීම තවදුරටත් ඇණහිට තිබේ. එහි වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ, අදාළ රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීමට සිදුව ඇති බව ය. එහිදි සැලකිය යුතු පිරිසක් මිය යන බව ද වෛද්‍යවරයා පැවසුවේ ය. වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ බරපතල රෝගීන් සඳහා හෘද සැත්කම් නවතා දැමුණේ, මීට මාස කිහිපයකට පෙර ය. ඉන් අනතුරුව වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියාව සඳහා ආයතනයකට පැවරුව ද මෙතෙක් එම ආයතනය එම කටයුතු ආරම්භ කර නොමැති බවට වෛද්‍යවරු චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ, අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වීමෙන් දහස් ගණනක් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇති බව ය. කරාපිටිය රෝහලේ පොරොත්තු ලේඛනයේ මේ වන විට සිටින හෘද රෝගීන් සංඛ්‍යාව 4000කට අධික ය. මෙම තත්ත්වය මත ඔවුන්ට සැත්කම් සිදු කිරීමට තවත් වසර ගණනාවක් ගත වනු ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.