by Staff writer 01-10-2018 | 9:14 PM
COLOMBO (News 1st) - පිළිකා රෝගීන් වාර්තාවීම සීඝ්‍ර ලෙස වර්ධනයවීම හේතුවෙන් පන්නල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව බියට පත් ව සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය මාස 6 ක පමණ කාලය තුළ පිළිකා හේතුවෙන් ගම්වැසියන් මියයාම සුලබ වී ඇති බවයි.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 1583, කැකිල්ලපිටිය ග්‍රාමසේවා වසමට නිව්ස්ෆස්ට් කණ්ඩායම පිටත් වුනේ මේ අවාසනාවන්ත මරණ දාමයට අනුමාන කළ හැකි හේතුවක් හෝ සොයා ගැනීමේ අරමුණින් ය.
කැකිල්ලපිටිය, ජයසිරි පොදු සුසාන භූමියේ මෑතකදී මිය ගිය ගම්වැසියන් මිහිදන් කළ ස්ථාන රැසක් දැකගත හැකි ය.
ගම්මානයේ පිළිකා රෝගයෙන් මියගිය හා රෝගීව සිටින පිරිස පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ග්‍රාම නිලධාරීවරිය සොයා ගිය අපට දැනගත හැකිවූයේ ඇගේ 37 හැවිරිදි සොහොයුරා ද මේ රුදුරු ඉරණමට ගොදුරුව ඇති බවයි.
මියගිය සියලු දෙනාම වාගේ රෝගය හඳුනාගෙන මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ජීවිතක්ෂයට පත් ව ඇති බව අප කළ නිරික්ෂණයේදී පෙනී ගියේ ය.
මේ අතර ගම්මානයේ පෙර පාසලට ගිය අපට පිළිකා සෛලවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවට සැළකෙන කුඩා දරුවෙකු පිළිබඳව දැන ගැනීමට ලැබුණි.
රෝගී තරුණියක සමග අප කළ සාකච්ඡාවේදී අනාවණය වූයේ, ඇගේ සොහොයුරා මෙන් ම පියා ද පිළිකා රෝගයේ ගොදුරක් වී ඇති බවයි.
මෙම රෝගී තත්ත්වය එකිනෙකට වෙනස් වූ ඉන්ද්‍රියන් ආශ්‍රිතව හටගෙන තිබීම තව ත් විශේෂ කරුණකි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත අනුව මේ ප්‍රදේශයේ 283 දෙනෙකු පිළිකා රෝගය සඳහා ලබාදෙන මහජන රෝගාධාර ලබා ගනිමින් සිටිනු ඇත.
ගම්මානයේ බොහෝ දෙනෙකු සමෘද්ධිලාභීන් වන අතර ඔවුන් ජීවත්වන්නේ රෝගය කළින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වියදම් දැරීම පවා දුෂ්කර වටපිටාවකයි.