හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්...

පහළ වායු ගෝලයේ කැළඹීමෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 30-09-2018 | 6:57 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇද හැළුණු අධික වර්ෂාවත් සමග අකුරණ නගරයේ ජල ගැලීමෙන් වෙළෙඳසැල් 350 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත. එහි මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි අකුරණ නගරයේ අඩි 4 ක පමණ ජල ප්‍රමාණයක් තිබු බවයි. මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ රථ වාහන ධාවනය ද ඇණහිට තිබේ. මේ වනවිට ජලය පහව ගොස් ඇති අතර ගමනාගමනයට බාධා නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. රණවීර මහතා සඳහන් කළේ, පිගා ඔය සහ වහගල ඔය ආශ්‍රිත අනවසර ඉදිකිරීම් මෙම ජල ගැලීම් තත්ත්වයට හේතුවී ඇති බවයි. මේ අතර බදුල්ලට ඊයේ ඇඳ හැළුණු තද වැසි සමග බදුලු ඔය හල්පේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇත. අප වාර්තාකරු පැවසුවේ, කාණු පද්ධති අවහිරවීමෙන් බදුල්ල, උඩුවර ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් පැවති බවයි.