V-Force ක්‍රියාන්විතයේ 3 වන අදියර සාර්ථකව අවසන්

V-Force ක්‍රියාන්විතයේ 3 වන අදියර රත්නපුරයේදී සාර්ථකව අවසන්

by Staff writer 29-09-2018 | 10:31 PM
COLOMBO (News 1st) - රත්නපුරයේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගු කාලීන අරමුණ ඇතිව කලු ගඟ දෙපස පැළ 4000ක් රෝපණය කෙරිණි. ඒ, තරුණ නායකයින් බලගැන්වෙන ගම්මැද්ද V-Force ව්‍යාපෘතියේ තවත් ජාතික මෙහෙවරක් සනිටුහන් කරමිනි. V-Force 3 වන අදියර වන මෙහි තේමාව කලු ගඟට තුරු වියනක් යන්නයි. තරුණ නායකයින් සමග රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක V-Force බලකාය අද පෙරවරුවේ මේ වැඩසටහන ඇරඹුවේ රත්නපුර වරකාතොට පාලම අසළිනි. වරකාතොට පාලම අසළ සිට ඉහළට ඇති කලු ගඟේ ඉවුරු දෙපස කලාපය තුළ පැල 4000ක් රෝපණය කෙරුණේ, කණ්ඩායම් 8ක් එකවර ක්‍රියාත්මක වෙමිනි. ආගමික නායකයින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. මෙවර ජාතික හා ජාත්‍යන්තර සංවිධාන රැසක් V-Force මෙහෙවර සමග එක්වූ අතර බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දුන්නේ සුවිශේෂී සහයෝගයකි. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොරටුව හා සබරගමුව විශ්වවිද්‍යාලය, රතුකුරුස සංවිධානය, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිෆික් සහයෝගිතා සංවිධානය සහ හරිත උදය ජාතික ව්‍යාපාරය මෙන්ම Y FM නාලිකාව ද V-Force සමග අත්වැල් බැඳගත්තේ ය. MIM හෙවත් මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ රථ වාහන පොලීසියේ නිලධාරීන් ද මෙම කර්තව්‍යයට මහඟු සහයක් ලබා දුන්නේ ය. පැළ සිටුවීමේ ව්‍යාපෘතියෙහි දිගු කාලීන අරමුණ ඉවුරු ඛාදනය අවම කරවා අවට ප්‍රදේශවලට තදින්ම බලපා ඇති ගංවතුර අවදානමට පිළියමක් යෙදීමයි. ගම්මැද්ද V-Force පළමු අදියර සීගිරියෙන් ඇරඹුණු අතර දෙවැනි අදියර පැවැත්වුණේ මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළේදී ය.