යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට අකුල් හෙළන්නේ කවුද?

by Staff writer 29-09-2018 | 8:51 PM
COLOMBO (News 1st) - ආදායම් ලබා දෙන විදේශීය ආයෝජන රටට ගෙන්වා ගැනීම කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දක්වන ආකල්පයේ තරම යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යෘපෘතියට ඉඩ නොදීමේ සිදුවීම තුළින් පැහැදිලිව පෙනේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබීම නිසා ආයෝජකයින් මේ පිළිබඳව ජනාධිපතිවරයාට පවා කරුණු දක්වා තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙන්ම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ යන ආයතනවලට වතාවන් ගණනාවකදී සිහි කැඳවීම් හෝ විමසීම් ලිපි යවා තිබිණි. එසේ තිබියදීත් මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ අදාළ බලධාරීන්ට චෝදනා එල්ල කෙරිණි. මේ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයේ දැක්වෙන්නේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසා ඇති ඇතැම් කරුණු පිළිබඳව ආයෝජකයා විසින් අසම්පූර්ණ තොරතුරු සපයා තිබීම තුළ තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට එය අනුමත කිරීමේ හැකියාවක් නොමැති බව ය ඒ පිළිබදව සීලොන් හයි ස්පීඩ් රේල්වේ ආයතනයේ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ව්‍යාපාර සැලස්ම, ඉන් ඉපැයීමට බලාපොරොත්තු වන ලාභය ආදී දේ පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන් ඉල්ලා සිටින බව ය. එම තොරතුරු ලබා දීමට ඔවුන් සූදානම් නොමැති බවත් එය රහස්‍ය ලියැවිල්ලක් බවත් ඔහු අවධාරණය කළේ ය. මෙම ආයෝජනයෙහි නීත්‍යානූකුලභාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සඳහා යුරෝපීය සංගමයේ ලියාපදිංචි බැංකුවක් මුදල් ලබා දෙන බව ත් මේ පිළිබඳව යුරෝපීය සංගමය අධීක්ෂණය කරන බවත් ය.