මරණයකින් කෙළවර වූ කොහුවල ගැටුම

මරණයකින් කෙළවර වූ කොහුවල ත්‍රිරෝද රථ රියැදුරු ගැටුම

by Staff writer 29-09-2018 | 10:01 PM
COLOMBO (News 1st) - අද පෙරවරුවේ නුගේගොඩ, කොහුවල මාර්ගයේදී ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය. නුගේගොඩ සිට කොහුවල හන්දිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී ගැටී අනතුරක් සිදු වුණේ අද උදෑසන 10.00ට පමණ ය. අනතුරින් ත්‍රිරෝද රථවල පැති කණ්ණාඩිවලට හානි සිදුව ඇති අතර එහිදී රියැදුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිව තිබේ. එහිදී සිදු වූ පහර දීමකින් එක් රියැදුරෙකු තුවාල ලබා ඇති අතර ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය. මිය ගොස් ඇත්තේ, 27 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය.