මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍යයි 

මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍ය බව ජනපති කියයි

by Staff writer 29-09-2018 | 7:16 AM

COLOMBO (News 1st) - මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

ජනාධිපතිතුමා අවධාරණය කළේ, ඒ සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ 73 වන මහා සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් මගිනි. එම ප්‍රකාශය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සභාව වෙත ඉදිරිපත් කර ඇත. මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙත ශ්‍රී ලංකාව සහාය දක්වන බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සඳහන් විය. එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පත් කිරීම, මධ්‍යසාර ප්‍රචාරක දැක්වීම් තහනම් කිරීම යනාදී වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද එහි දිර්ඝ වශයෙන් සඳහන් ව තිබේ. ශ්‍රී ලංකාව මධ්‍යසාරවලින් විශාල බදු මුදලක් ලබාගන්නා නමුත් ඉන් ජනතාවට සිදුවන ශාරීරික හානිය හා වැළඳෙන රෝග අති විශාල බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුනි. ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, සමාජ ජාල මගින් මධ්‍යසාර හා නිෂ්පාදන ප්‍රචාරයන් ලොව පුරා පැතිරෙන බැවින් එය පාලනය කිරීමට ස්වාධීන රාජ්‍යයන්වලට හැකියාවක් නොමැති අතර ඒ සඳහා පවතින ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යය බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රඥප්තිය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙසට ජනාධිපතිතුමා සියලු ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.