ජනපති එ.ජා. සංවිධානයේ මහ ලේකම් හමුවෙයි

ජනපති එ.ජා. සංවිධානයේ මහ ලේකම් හමුවෙයි

by Staff writer 29-09-2018 | 2:18 PM

COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් මාධ්‍ය නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව ලබා ඇති සාධනීය ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරියගේ ඇගයීමට ලක් ව තිබේ.

ඔවුන් මෙම ඇගයීම සිදුකර ඇත්තේ, නිව්යෝක්හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා හමු වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ප්‍රජාතන්ත්‍රවාදයෙ, නිදහස, සාමය හා සංහිඳියාව පිළිබඳ ඉකුත් වසර තුන හමාර තුළ ශ්‍රී ලංකාව ලද සුවිශේෂී අත්දැකීම් උපයෝගී කර ගනිමින් එම ගමන ඉදිරියට තවදුරටත් වේගවත් කරන බවයි. ශ්‍රී ලංකාව උදාකරගෙන තිබෙන මෙම ජයග්‍රහණ අධ්‍යයනය කරමින් නව දෘෂ්ටි කෝණයකින් තම රට දෙස බලන්නැයි ජාත්‍යන්තරයේ සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා එම හමුවේදී ප්‍රකාශ කළේ ය. සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ කටයුතුවලට ශ්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය ද මහ ලේකම්වරයාගේ ඇගයීමට ලක් ව තිබේ. කාලගුණික හා දේශගුණ විපර්යාස හමුවේ මෙරටට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට එක්සත් ජාතීනගේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ ය. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ද ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී ජනාධිපතිතුමා හමුවිණි. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් ශක්තිමත් කරන බව ප්‍රකාශ කළ මහ ලේකම්වරිය සංවර්ධනයත් සංහිඳියාවත් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බවට ද සහතික විණි. ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය තුළ අනිකුත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව ද ඇය එම හමුවේ ප්‍රකාශ කළා ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවලට යහපතක් වනු ඇති බව ද එම හමුවේදී පෙන්වා දුන්නේ ය.