අගමැතිගේ කතාව කෙසේ වෙතත් ක්‍රියාවේ විපාකවල තරම...

අගමැතිගේ කතාව කෙසේ වෙතත් ක්‍රියාවේ විපාකවල තරම...

by Staff writer 29-09-2018 | 8:03 PM
COLOMBO (News 1st) - වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම අද සිදු කෙරිණි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර හා පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳව අදහස් පළ කළේ ය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "අද ලෝකයේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ මැදට අපිත් හිර වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවා. අපිට ඩොලර්වලින් ගෙවන්න වැඩිපුර මුදල් වුවමනා වෙලා තියෙනවා. අපි විදේශ ආයෝජන ගන්නේ නැතුව ණය ගන්න පටන් ගත්තා. ණය ගෙවන්න මුදල් හොයන්න තියෙනවා. ඊට පස්සේ වැට් වැඩි කරන්න වෙනවා. වැට් වැඩි කරන කොට හැම එක්කෙනාම ආණ්ඩුවට බනින්න ගත්තා. විදේශ ආයෝජන ලබා ගන්න අපනයන වැඩි කරන්න ඕන. ඒ සැලසුම අපි දැන් ශීඝ්‍රව කරන්න ඉන්නේ" අග්‍රාමාත්‍යවරයා අද එසේ පැවසුව ද පසුගියදා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්. (2018/09/02) රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "අපි මෙතෙක් කල් හිටියා බැණුම් ඇහුවා. දැන් හරි අපි වැඩේ කරගෙන යනවා. මේ අවුරුද්දේ මං කිව්වා දැන් අත් දෙක දිග ඇරලා වැඩ කරන්න කියලා. තාම අමාරු කාලයක්. මේකෙන් අපි සම්පූර්ණයෙන් පැනලා නෑ. මේක අපි ආරම්භ කළා විතරයි. ගම්පෙරළියෙන් දැන් ගම්වලට යන්න වැඩ කටයුතු කරන්න. දැනට මිලියන 9000ක් අපි දීලා ගම්පෙරළියට. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතේ මුදල් තියෙනවා වැඩ කටයුතු කරන්න. ඒගොල්ලන්ටත් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ගම්පෙරළියෙන් කරන්න පුළුවන්. එන්ටප්‍රයිස් ලංකා වැඩසටහනෙන් කරන්න පුළුවන්. දැන් ඉතින් ඇමතිවරු විතරක් නෙවෙයි ගමේ ඉන්න අයත් බැහැලා වැඩ කරන්න. තවත් අපි සල්ලි හොයලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි" අගමැතිවරයාගේ කතාව කෙසේ වුවත් ක්‍රියාවෙන් සිදුව ඇත්තේ කුමක් ද? අප මේ විඳිමින් සිටින්නේ ජනාධිපතිවරයා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේත් විරෝධය නොතකා මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති අසුනට පත් කර සිදු කළ බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුවේ තරම නොවේ ද? රටේ වැඩ කරන ජනතාවට විශ්‍රාම දිවිය ගෙවීමට ඇති සේවක අර්ථ සාධක අරමුදල් පවා මේ වංචාව නිසා අහිමි කළ බව අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද අප ගෙවමින් සිටින්නේ මේ අපරාධවල වන්දිය නොවේ ද? රටේ තරුණ පරම්පරාවට රැකියා දස ලක්ෂයක් ලබා දෙන බව පවසා පස් අවුරුදු සැලසුම් සකස් කර අවසානයේ මහ බැංකුවෙන් ඉවත් කළ අර්ජුන මහේන්ද්‍රන් එහි ප්‍රධානියා ලෙස පත් කළ මේ අගමැතිවරයා ඉන් නොනැවතී රට රටවල සංචාරය කළේ ද ඔහු සමග ය. අවසානයේ සිංගප්පූරුවට වාසිදායක අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සකස් කරන්නට මග පාදන තත්ත්වයට අර්ජුන මහේන්ද්‍රන් මහතා බලවත් විය. මේ ගිවිසුම්වලින් රටට ආදායම් ලැබීම කෙසේ වෙතත් රටේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ පිට රටවලට සූරා කෑමට හැකි තත්ත්වයකට පත් කර ඇති බව රටේ සිටින වෘත්තිකයින්ගේ මතයයි. රැකියා දස ලක්ෂය කෙසේ වෙතත් දැන් රටේ තරුණ තරුණියන් අතර ඇති විරැකියාවේ තරම සතියකට කොළඹ නගරයේ පමණක් පවත්වන තරුණ විරෝධතාවලින් පැහැදිලිව පෙනේ. හොරු අල්ලන බවට ජනතාවට පොරොන්දු වී අවසානයේ සිදු වූයේ රාජපක්ෂ පවුලේ මුදල් ඩුබායි ගිණුම්වල දැමූ බවට ඔවුන්ම චෝදනා කළ පුද්ගලයින් සමග හවුල් ව්‍යාපාරවල යෙදීමයි. මහා පරිමාණ ටයර් කම්හලක් ඉදිකරන මුවාවෙන් අගමැතිවරයාත්, මිතුරු මලික් සමරවික්‍රම ඇමතිවරයාත් දැන් මේ පුද්ගලයින්ගේ ගජ මිතුරන් වී තිබේ. රාජගිරියේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මැදිහත්ව කළ ව්‍යාපාරය ද දැන් සතුවන්නේ මේ පුද්ගලයින්ට ය. සොරකම් කළ මුදල් රටට ගෙනැවිත් ජනතාවට සුරපුරයක් සකස් කරන බව පවසා දැන් සිදු කරමින් ඇත්තේ ජනතාවට කෙසේ වෙතත් ඔවුන්ට සුරපුරයක් සකස් කර ගැනීම නොවේ ද? රටේ මුදල කඩාගෙන වැටෙන විට සරල ආර්ථික විද්‍යාවට අනුව නම් එය ශක්තිමත් කිරීමට වැඩියෙන් ඩොලර් රටට රැගෙන ආ යුතුය. නමුත් සිදුව ඇත්තේ විවිධ සෙස් බදු ඉවත් කරමින් දේශීය අපනයන කර්මාන්ත ද කඩා බිඳ දමන තත්ත්වයකට පත් කිරීම නොවේ ද? රටට අවශ්‍ය දේ රටේ නිපදවනවාට වඩා පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාභදායී තත්ත්වයට පත් කරන ප්‍රතිපත්ති සකස් කරන්නට නම් රටකට පාලකයින් අවශ්‍ය ද? ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වූ ඇඟලුම් කර්මාන්තය අද පත්ව ඇති තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. තේ, පොල්, රබර් යන සාම්ප්‍රදායික අපනයන අනුවන ප්‍රතිපත්ති නිසා දැන් ඇත්තේ පණ අදින තත්ත්වයක ය. කිසිදු විධිමත් පරීක්ෂණයකින් තහවුරු නොකර ගත් ඇතැම් තීරණ නිසා සාම්ප්‍රදායික අපනයන ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින රටවල් දැන් ප්‍රතික්ෂේප කරමින් සිටියි. රටට ආදායම් උපයන මාර්ග විනාශ කළ ද රටින් මුදල් පිටට ගලා යන දැවැන්ත ව්‍යාපෘති නම් ඕනෑවටත් වඩා ක්‍රියාත්මක වෙමින් ඇත. ඇමති මලික් සමරවික්‍රම මහතාගේ හිතවතුන් රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර ඔවුන්ගේම සමාගම්වලට බිලියන ගණනින් ණය නිකුත් කළ බව දැන් රටට රහසක් නොවේ. අවසානයේ මේ සමාගම් ණය ගෙවා ගැනීමටවත් නොහැකි මට්ටමින් අර්බුදයට ලක් වෙද්දී ඒවායේ පාඩුව ද දරන්නට සිදු වන්නේ රටේ ජනතාවටම නොවේ ද? අධික පොළියට වානිජ ණය ලබාගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම, ආයෝජකයින් අධෛර්යමත් කරමින් ඔවුන්ගෙන් කොමිස් ඉල්ලා සිටීම, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි ජනතාවට නොදැනෙන ක්‍රමවලින් ජනතා මුදල් සොරකම් කිරීම, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම, හිත මිතුරන්ගේ බංකොලොත් ව්‍යාපාරවලට සහනදායී පදනමට බැංකු ණය ලබා දීම, රජයේ ව්‍යාපාරවලට මිතුරන් නැත්නම් ඥාතීන් පත් කර ඒවා වසා දමන තත්ත්වයට පත් කිරීම වැනි උපක්‍රම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙයි ද?