රුපියල වෙනුවෙන් අද රෑ මෙහෙයුමක්...

රුපියල වෙනුවෙන් අද රෑ මෙහෙයුමක්...

by Staff writer 29-09-2018 | 4:14 PM
COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා ආණ්ඩුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. මේ අනුව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ද එම නිවේදනයේ සඳහන් ය. රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. හයිබ්‍රිඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණි. බස්, ලොරි සහ ගිලන් රථ හැර අනෙකුත් සියලු ම වාහන ආනයනයේදී ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200%ක තැන්පතුවක් තැබිය යුතු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු වේ. රජය අඛණ්ඩව විනිමය අනුපත වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.