තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට

තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට

by Staff writer 29-09-2018 | 6:28 AM

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කරමින් හත්වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි. තරගය අබුඩාබිහිදී පැවැත් විණි. කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව බංග්ලාදේශ ඉනිම ආරම්භ කරමින් ලිටන් දාස් හා මෙහිදී හසන් පිටියට පිවිසියේ ය. තරගාවලියේ මුල් තරගවලදී ආරම්භක පිතිකරුවන් ලෙස අසාර්ථක වූව ද ඊයේ තරගයේදී බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සබඳතාව ලකුණු 120 කි. එය වාර්ථා අතරට එක්වුනේ ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකදී පළමු කඩුල්ල සඳහා ගොඩනැගු දෙවන ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. කණ්ඩායම පන්දු යවන්නෙක් ලෙස නියෝජනය කරන බංග්ලාදේශයේ මෙහිදී හසන් ඊයේ දිනයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණ ලකුණු 32 ක් රැස් කළේ ය. සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්ථා කළ ලිටන් දාස් පන්දු 117 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 කි. එය වාර්ථා අතරට එක්වුනේ ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකදී රැස් කළ 5 වන ශතකය හා අවසන් මහා තරගයකදී ක්‍රීඩකයෙක් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. සෞම්‍ය සාකර් ලකුණු 33 ක් රැස් කර තිබේ. කෙසේ වෙතත් බංග්ලාදේශ ඉනිමේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 8 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. කුල්දීප් යාදෙව් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගත් අතර කේදර් ජාදෙව් ලකුණූ 41 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 223 ක පහසු ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින්ගේ ජයග්‍රහනය සිය ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් රැගෙන යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විණි. ලකුණු 167 කට කඩුලු 5 ක් බිඳ වැටීමෙන් ඉන්දීය ඉනිම මදක් අඩපන වී තිබූ නමුත් රවීන්ද්‍ර ජදේජා සහ කේදර් ජාදව් එක් ව ලකුණු සංඛ්‍යාව ගොඩනැංවීමට සමත් විය. ඉන්දීය ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී තිබියදී යි. නායක රෝහිත් ශර්මා ලකුණු 48 ක් රැස් කළ අතර දිනේෂ් කාර්තික් ලකුණු 37 යි. මහේන්ද්‍ර සි දෝනි ලකුණූ 36 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි කේදර් ජාදෙව් ලකුණු 23 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමන් හා රබෙල් ශුසෙන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබුණි.