අධික වැස්සෙන් අකුරණ නගරය ජලයෙන් යට වෙයි

අධික වැස්සෙන් අකුරණ නගරය ජලයෙන් යට වෙයි

by Staff writer 29-09-2018 | 9:53 PM
COLOMBO (News 1st) - ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ ය. මේ අතර අද පස්වරුවේ ඇද හැළුණු තද වැසි සමග අකුරණ හා බදුල්ල ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට විය. අද පස්වරුවේ ඇද හැළුණු වැසි සමග අකුරණ නගරය මේ වන විට ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර අද දවස පුරා බදුල්ලට ඇඳ හැළුණු තද වැසි සමග මේ වන විට බදුළු ඔය හල්පේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ, ඔය ගලා යන මාර්ගයේ ඇති අවහිරතා හේතුවෙන් පැය කිහිපයක වර්ෂාවකට මෙලෙස ඔය පිටාර ගලන බව ය. කෙසේ වෙතත් මේ තත්ත්වය හේතුවෙන් අවට නිවාස හා මාර්ග කිහිපයක් ජලයෙන් යට විය. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි පැය 24 තුළත් උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයිනට බස්නාහිර හා නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි ඇති විය හැකි බැවින් සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 හා 80 දක්වා ඉහළ යාමට ඉඩ තිබේ. හෙට සවස තෙක් පානදුර සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2 සිට 2.5ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරළ ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට ඊයේ මෙන්ම අදත් බාධා එල්ල විය.