SAITM වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇරඹේ

by Staff writer 28-09-2018 | 6:19 PM

COLOMBO (News 1st) - සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.

වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව එම තීරණය ගත් බවයි. මේ වනවිට සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනෙකු සිය උපාධිය සම්පුර්ණ කර ඇත. වෛද්‍ය සභාව පැවසුවේ, අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කළ ද මෙතෙක් එම කිසිදු උපාධිධාරියෙකු වෛද්‍ය සභාව වෙත අයැදුම්පත් භාරදී නොමැති බවයි. මේ අතර රජය සම්මත කරගත් පනත අනුව සයිටම් වෛද්‍ය උපාධි අපේක්ෂකයින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ. එහි නියෝජ්‍ය උපකුලපති මේජර් ජනරාල් ඉදුනිල් රණසිංහ මහතා සඳහන් කළේ, දැනට කණ්ඩායම් 5 ක් වෛද්‍ය පීඨය සඳහා බඳවා ගෙන ඇති බවයි. ඉතිරි කණ්ඩායම් ද සයිටම් ආයතනයෙන් ලබාදෙන ලිපි ලේඛන සම්පුර්ණ වූ වහාම බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.