නෙදර්ලන්තය මහා විනාශයකින් බේරෙයි

නෙදර්ලන්තය මහා විනාශයකින් බේරෙයි

by Staff writer 28-09-2018 | 11:38 AM
(News 1st) - නෙදර්ලන්තයේ ප්‍රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කළ ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ. අර්නීම් නගරයේදී පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සහ ගිනිඅවි සමග පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. නෙදර්ලන්ත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ, ඔවුන් AK47 වර්ගයේ ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ යොදා ගනිමින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව ය. ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී තිබුණේ, ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එකවර සිදු කිරීමට ය. අනතුරුව තවත් ස්ථානයක මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි. නෙදර්ලන්ත ආරක්ෂක අංශ පවසන්නේ, 2014 වසරේ අප්‍රේල් මාසයේ බුද්ධි අංශවලට වාර්තා වූ තොරතුරක් පදනම් කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව ය. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසයි. කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාර සැලසුම අනාවරණය වීමත් සමග ආරක්ෂාව තර කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.