කුරුණෑගලට බලපෑ තද සුළඟකින් නිවාස 25කට හානි

කුරුණෑගලට බලපෑ තද සුළඟකින් නිවාස 25කට හානි

by Staff writer 28-09-2018 | 6:30 AM
COLOMBO (News 1st) - කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 25කට පමණ හානි සිදුව තිබේ. කුරුණෑගල, මාස්පොත, සුන්දරාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, නිවාස හානි වීම්වලින් වැඩි සංඛ්‍යාවක් අර්ධ හානි වශයෙන් වාර්තා වන බව ය. මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් ද සිදුව ඇති අතර මාර්ග කිහිපයක් ද අවහිර වී තිබේ. මේ අතර අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද හමුදාවේ සහය ද ලබා ගනිමින් අද උදෑසන සිට මෙහෙයුම් ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. හමා ගිය තද සුළං හේතුවෙන් කුරූණෑගල, මාස්පොත, සුන්දරාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ද බිඳ වැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් පවුල් 200කට අධික පිරිසකට විදුලි සැපයුමට බාධා මතුව තිබෙන බව ය. සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.