සුඛෝපභෝගී පරිභෝජනවලින් වළකින්න...

"මන්ත්‍රීවරු සහ සියලුම දෙනා මේ සුඛෝපභෝගී වාහන පිටරටින් ගෙන්වන එක නැවැත්විය යුතුයි" - මංගල සමරවීර

by Staff writer 28-09-2018 | 5:42 PM

COLOMBO (News 1st) - ජනතාව විසින් ආනයනය කරන ලද සුඛෝපභෝගී දේ මිලදී ගැනීම නතර කර ජාතික ආර්ථිකය සුරැකීමට කටයුතු කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේ ය.

ජනතාවට පටි තද කරගන්නැයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ ද සැබැවින්ම පටි තද කර ගත යුත්තේ ඔවුන්ම නොවේ ද? අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද රුපියල් මිලියන 244 කට අධික වාහන අදත් ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවලට බෙදා දුන්නේ ය. ඇමතිවරුන් ජනතාවට උපදෙස් දුන්න ද ඔවුන්ගේ විදෙස් ගමන්, සුඛෝපභෝගී වාහන ගෙන්වීම, නිවාඩුගත කිරීම් අඩුකර තිබේ ද? මේ අතරවාරයේ නොවැම්බර් 5 වන දා ඉදිරිපත් කිරීමට සූදානම් වන අයවැයෙන් රජයේ ආදායම වැඩි කර ගැනීම, මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, සමාජ ආරක්ෂණ ජාලය සඳහා පවුල් නිසි ලෙස හඳුනා ගැනීම ඇතුලු කරුණු අපේක්ෂා කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉඟි පළවී තිබේ. පස්වන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචනය අවසානයේ ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුනේ ඉලක්කගත මට්ටමට වඩා රජයේ ආදයම අඩුවී ඇති බවයි. එම නිසා බදු ප්‍රතිපත්ති වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් අගය කරන ඔවුන් විදුලි බලය සඳහා ද ස්වයංක්‍රීයව මිල තීරණය වන යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතු බව අවධාරණය කර තිබේ.