ගෝඨාභයගේ අතුරු තහනම දිර්ඝ කෙරේ

ගෝඨාභය රාජපක්ෂගේ අතුරු තහනම් නියෝගය දිර්ඝ කෙරේ

by Staff writer 28-09-2018 | 4:19 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවරා ඇති නඩුවෙහි සාක්ෂි විභාගය වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 05 වන දා දක්වා දිර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

අදාළ නඩුව විභාග වන්නේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක අලාභයක් සිදු කළ බව කියන චෝදනාවට ය. අභියාචනා පෙත්සම අචල වෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදී අද පස්වරුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් විවෘත අධිකරණය හමුවේදී එම පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ගොනු කර ඇත. ඊට අදාළ ප්‍රතිවිරෝධතා ලබන ඔක්තෝබර් මස 19 වන දා ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවය නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් සළකා බැලීම නොවැම්බර් මස 30 වන දාට කල් තබා ඇත.