පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ඇප

වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ඇප

by Staff writer 27-09-2018 | 10:21 PM
COLOMBO (News 1st) - අභියාචනාධිකරණය දුන් ඇප කොන්දේසි අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද ඇප මත මුදා හැරිණි. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නියෝමාල් රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. රංගජීව මහතා අභියාචනාධිකරණයට ගොනු කළ ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේ ය. ඒ අනුව රංගජීව මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඇප කොන්දේසි සම්පූර්ණ කළ අතර පසුව ඔහු අධිකරණ භූමියෙන් පිටව ගියේ ය. අභියාචනාධිකරණයේ නියෝග අනුව රංගජීව මහතාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු පෙනී සිටිය යුතුයි.