ලසන්ත ඝාතනය: නඩු විභාගය ජනවාරි දක්වා කල් යයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනය: නඩු විභාගය ලබන ජනවාරි දක්වා කල් යයි

by Staff writer 27-09-2018 | 5:39 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවල වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, ඝාතන සිද්ධිය පිළිබඳව දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳගෙන්, ඔහුගේ දියණියගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ය. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටින හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල, හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරී සේනානන්ද උදුලාගම යන මහත්වරු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, තිස්ස සුගතපාල මහතාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. නඩු විභාගය ලබන වසරේ ජනවාරි 17 වන දා තෙක් කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කළේ ය.