පකිස්ථානය පරාජය කළ බංග්ලාදේශය අවසන් මහ තරගයට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි

by Staff writer 27-09-2018 | 7:56 AM

බංග්ලාදේශය ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, පකිස්ථානය පරාජය කරමිනි. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වූ තීරණාත්මක තරගය අබුඩාබිහිදී ඊයේ පැවැත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 12 කදීයි. අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන්, බංග්ලාදේශ සිව්වැනි කඩුල්ලට ලකුණු 144ක සබඳතාවක් ගොඩනැගුවේ ය. දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මිතුන් ලකුණු 60යි. 30 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මුෂ්ෆිකර් රහීම් ලකුණු 99 කට දැවී ගියේ ය. ඔහුගේ ඉනිමට 4 පහර 9ක් ඇතුළත් වේ. බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ජුනයිඩ් ඛාන් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. ශාහීන් අෆ්‍රිඩි සහ හසාන් අලී අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් ඇත. බංග්ලාදේශය පන්දුවාර 48 යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 239 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 83 ක් රැස් කළේ ය. ශොහීබ් මලීක් ලකුණු 30 ක් රැස් කළ අතර අසීෆ් අලී ලකුනු 31යි. පකිස්ථාන පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විණි. මුස්තාෆිසූර් රහ්මන් ලකුණු 43ට කඩුලු 4යි. තරගයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට පකිස්ථානය කඩුලු 9ක්දැවී ලකුණු 202ක් රැස් කරගෙන සිටියේ ය. ඒ අනුව ලකුණු 37ක ජයක් වාර්තා කළ බංග්ලාදේශයට තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වීමට නියමිත වේ.