ඝාතන කුමන්ත්‍රණ ගැන හඬ පට නැහැ - නාමල් කුමාර

ඝාතන කුමන්ත්‍රණ ගැන හඬ පට නැහැ - නාමල් කුමාර පිළිගනියි

by Staff writer 27-09-2018 | 8:27 PM
COLOMBO (News 1st) - නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ උත්සහයක් ඇතැයි අනාවරණයක් කළ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර මහතා අද යළිත් මාධ්‍යයට අදහස් පළ කළේ ය. එහිදී අනාවරණය වූයේ, ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කළ බව කියන දුරකතන සංවාද ඔහු සතුව නොමැති බව ය. මේ අතර හෙට පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ගොස් කටහඬ සාම්පල ලබා දෙන්නැයි අධිකරණය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා ය. අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ එම නියෝගය රජයේ රස පරීක්ෂකවරයාට සහ නාලක ද සිල්වා මහතාට භාර දෙන ලෙස ය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයා ද අද කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි. එම්. තෝමස් නමැති එම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග පරිදි මාස 3ක් රඳවා සිටියි. කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ, සැකකාර ඉන්දීය ජාතිකයා කායික, මානසික සහ විකලාංග වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය.