රනිල් වික්‍රමසිංහ, අකිල ඇතුළු 6 දෙනෙකුට වාරණයක්

රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක්

by Staff writer 26-09-2018 | 8:09 PM
COLOMBO (News 1st ) : ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අද වාරණ නියෝගයක් නිකුත් කළේ ය. එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් වන අන්වර් අස්වර් මොහොමඩ්, රෙෂාන් ලතීෆ්, මොහොමඩ් රෝෂන්, මොහොමඩ් එෆ්. නිසාන්, මොහොමඩ් ශිරාජ් , මොහොමඩ් මිලාම් මහතා ඇතුළු 6 දෙනෙකු විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්මසක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය එම වාරණය නියෝගය නිකුත් කර තිබේ. ඔක්තෝම්බර් 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද විනිසුරුවරිය නියෝග කළා ය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී ගාල්ල මහනගර සභාවේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය දිනා ගත් නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකු නගරාධිපති ධුරයට පත්විය. ඊට සහය දැක්වූ බවට චෝදනා කරමින් පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව අදාළ මන්ත්‍රීවරුන් පෙත්සමෙන් පෙන්වා දී තිබේ. පෙත්සම්කරුවන් පවසන්නේ බහුතර මන්ත්‍රිවරුන්ගේ අභිමතය පරිදි නගරාධිපතිවරයා තෝරා පත්කර ගත් බැවින් ඒ සඳහා සහය දැක්වූයේ යැයි චෝදනා කරමින් විනය පරීක්ෂණයක් පැවැත්වීම නිත්‍යනුකූල නොවන බයි.