මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 144ක්

මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 144 දක්වා ඉහළ යයි

by Staff writer 26-09-2018 | 9:47 AM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැනීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටියි. සොයා ගත් ඇට සැකිලි අතර කුඩා ළමයින් 18 දෙනෙකුගේ ඇට සැකිලි ද වේ. මේ වන විට කැනීම් කර ඇත්තේ සමස්ත මිනී වළෙන් 35%ක ප්‍රදේශයක් පමණි. මේ අතර සමූහ මිනී වළේ කැනීම් ඊයේ සිට සතියක කාලයක් තාවකාලිකව නතර කර තිබේ. ඒ කැනීම් අධික්ෂණය කරන නිලධාරීන්ට අධිකරණ කිහිපයක ඇති නඩු කටයුතු කිහිපයක් හේතුවෙනි.