ට්‍රම්ප් ලෝක නායකයින්ගේ සරදමට

අමෙරිකානු ජනපතිගේ දේශනය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින්ගේ සරදමට

by Staff writer 26-09-2018 | 7:36 AM
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා සරදමට ලක් කිරීම හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ කතාවේ වැඩි කාලයක් වෙන් කළේ ඉරානය න්‍යෂ්ටික බලය වර්ධනය කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කිරීමට පියවර ගන්නා බව ය. ඉරාන නායකයින් දේශසීමා හෝ සිය අසල්වැසි රාජ්‍යයන් හෝ ස්වාධීන රාජ්‍යයක අයිතිවාසිකම් පිළිබඳව නොතකන බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාව තුළ අමෙරිකාවට ප්‍රමුඛස්ථානය ලබා දීමේ ප්‍රතිපත්තිය ද ඉස්මතු කළ අතර ඊට ලෝක නායකයින්ගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි. ධූරයට පත්ව වසර දෙකකට අඩු කාලයකදී තමන් මීට පෙර කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙකු අත්කර නොගත් සාර්ථකත්වයක් අත්කර ගත් බවට පුරසාරම් කියූ අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ සිනහවට ද ලක් විය. ලෝක නායකයින්ගෙන් ලද එම ප්‍රතිචාරය හමුවේ වික්ෂිප්ත භාවයට පත් වූ ජනපති ට්‍රම්ප් පැවසුවේ, තමන් එවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළ බව ය. මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් අමතා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේ ය. ජනපති ට්‍රම්ප් සමග ඡායාරූපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, ගෝලීය ආයතනවලින් ඈත් වීමට අමෙරිකානු ජනාධිපතිවරයා දරණ උත්සහය ඔහුගේ පෞර්ෂත්වයේ අඩුපාඩුවක් බව ද පෙන්වා දුන්නේ ය. ඒ, එය ශක්තිමත් බවේ සංකේතයක් නොව සංකීර්ණ, එකිනෙකට සම්බන්ධ ලෝකය තේරුම් ගැනීමට ජනපති ට්‍රම්ප්ගේ නොහැකියාව පෙන්නුම් කරන බව පවසමිනි.