ස්ථාන මාරු ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නෑ

ස්ථාන මාරුවීම් ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නැහැ

by Staff writer 25-09-2018 | 10:32 AM
COLOMBO (News 1st) : ස්ථාන මාරුවීම් ලබා දී තිබියදී නව සේවා ස්ථානයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස්. ගුණතිලක මහත්මියට දැනුම් දී ඇති බවයි. එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ. එම රෝහල් සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කිරීමට මෙන්ම රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේදී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීම යටතේ ද මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇති. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මෙම උපදෙස් ලබාදී තිබේ. සෞඛ්‍ය බලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ, පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය පියවීමට ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී නව සේවා ස්ථානය වෙත වාර්තා නොකරන නිලධාරින් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි.