ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම

by Nadeeshan Meedin 25-09-2018 | 4:44 PM
පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සීමිත පන්දු වාර ක්‍රිකට් තරග දෙස අවධානය යොමු කිරීමේදී  කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව නොරහසකි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට එරෙහිව පරාජය වීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින නායකත්වයෙන් ද පසුගියදා ඉවත්විය.
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ නික්ම යාම මෙන්ම අනතුරුව සිදු වූ ටී. එම්. ඩිල්ෂාන්ගේ නික්ම යාමෙන් පසුව කණ්ඩායම ස්ථිර සැලැස්මක් සහිතව ක්‍රීඩා කළා ද? යන්න සැක සහිත ය. එදා මෙදා තුර තේරීම් කමිටු මෙන්ම,  පුහුණුකරුවන් ද කණ්ඩායම හැරගිය අතර, නායකත්වය ද විටින් විට වෙනස්වීම්වලට ලක්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 71 ක් ක්‍රීඩා කර ඇති ඉන් තරග 4 ක් විසඳුමකින් තොරව හා එක් තරගයක් ලකුණු සමව ලබමින් අවසන් වූ අතර ක්‍රීඩා කළ ඉනිම 69 න් ඉනිම 33 ක දී නියමිත පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට කණ්ඩායමට නොහැකිව ඇත. මෙලෙස සියලු දෙනා දැවී ගිය අවස්ථා 33න් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ තරග දෙකක් පමණක් වන අතර, එක් තරගයක් විසඳුමකින් තොරව හා ඉතිරි තරග 30 න් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. ඉහත සඳහන් කළ තරග 71 න් ශ්‍රී ලංකාව ජයගත් තරග සංඛ්‍යාව 22 කි. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛයාව 5 ක්. ක්‍රීඩා කළ තරග 69 අතරින් (තරග දෙකක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී නැත) පළමුවෙන් පන්දුවට පහරදුන් ඉනිම 38 න් ඉනිම 17 කදී ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක්‍රීඩා නොකර සියලු දෙනා දැවී ගොස්  ඇත. පළමුවෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර 50 ම ක්‍රීඩා කල තරග 21 න් තරග 7 ක් ජයගෙන එක් තරගයක් ලකුණු සමව අවසන් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ස්ථිර පිතිකරණ අනුපිළිවෙළක් සකසා ගැනීමට අපොහොසත් වීම, ප්‍රබල ලෙස බල පා ඇති බව නොරහසකි.
දිගින් දිගට ම ලද පරාජයන්  හමුවේ ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය මතුවීමත් සමග සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව පසුගිය වසරේ සැප්තැම්බර් මසයේදී ඉල්ලා අස් වන විට 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තරග 51 ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 16 ක් පමණක් ජයගෙන තිබිණ. එය තරග සංඛ්‍යාවට අනුව 31% ක ජයග්‍රහණ ප්‍රතිශතයකි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාතික තේරීම් කමිටුවේ වෙනසක් සිදුකරමින් කපිල විජේගුණවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පත් කළ අතර, 2016 මාර්තු මස දී, ඔහු ඉවත් කරමින් අරවින්ද ද සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් යුතු  නව තේරීම් කමිටුවක් පත් කෙරිණ. කපිල විජේගුණවර්ධන මහතාගේ කාලය තුළ එක්දින තරග 13 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව තරග 6 ක් ජයගෙන තරග 6 ක් පරාජය වී ඇත. එහිදී ක්‍රීඩකයන් 23 දෙනෙකු අතරට නවක ක්‍රීඩකයන් රැසක් අත්හදා බලා ඇති අතර, තරග 10 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ 5 දෙනෙක් සිටිති. ඔහුගෙන් පසුව නිත්‍ය තේරීම් කමිටුවක් ලෙස පත් වූයේ නැවතත් සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ තේරීම් කමිටුවයි. සනත් ජයසූරිය මහතාගේ තේරීම් කමිටුව පැවති වකවානුව තුළ (2016 මැයි සිට 2017 අගෝස්තු අග දක්වා) එක්දින තරග 38 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 24 ක් පරාජයට වී ජයගත්තේ තරග 10 ක් පමණි. එහිදී ක්‍රීඩකයන් 43 දෙනෙකු භාවිත කර තිබු අතර  ක්‍රීඩා කර ඇති ඉනිම  34 න් 17 ක දී සියලු දෙනා දැවී ගිය අවස්ථා සටහන් ව තිබේ. ඉන් පසුව පත් වූ ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව යටතේ මේ දක්වා තරග 20 ක් ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ ද තරග 6 ක් පමණි. එය තරග සංඛ්‍යාවට අනුව 30% ක ජයග්‍රහණ ප්‍රතිශතකයකි. මේ අනුව ගත් කළ සාධනීය වෙනසක් සිදුකිරීමට ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුවට ද නොහැකිව ඇති බව පැහැදිලි වේ. එම කාල වකවානුව තුළ ක්‍රීඩා කර ඇති එක්දින තරග 20 න් තරග දොළහකදීම ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දැවී ගොස් තිබේ. ශ්‍රී  ලංකා කණ්ඩායම එම අවස්ථා 12 න් තරග 11 ක්ම පරාජයට පත්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට අද දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව එක්දින තරගවලදී ක්‍රීඩකයින් 51 දෙනෙකු අත්හදා බලා තිබේ. ඒ අනුව ගත් කළ මේ වන විට ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවිය යුතු ය. නමුත්, එම ක්‍රීඩකයන් 51 දෙනාගෙන් කණ්ඩායමට ලද දායකත්වය විමසා බැලීමේ දී සැලසුම් සහගතව ඔවුන් යොදා ගත්තා දැයි සැක සහිත ය.
තේරීම් කමිටුව එක්දින තරග ජය පරාජ වි.තො ක්‍රීඩකයන් ජයග්‍රහණ ප්‍රතිශතය
කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ

(2015 මැයි සිට 2016 මාර්තු දක්වා)

13 6 6 1 23 46.15%
සනත් ජයසූරිය ප්‍රමුඛ

(2016 මැයි සිට 2017 අගෝස්තු දක්වා)

38 10 24 5 43 26.32%
ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ

(2017 සැප්තැම්බර් සිට)

20 6 14 0 34 30.00%
ඉහත සඳහන් කළ ක්‍රීඩකයන් 51 අතරින් ක්‍රීඩා කළ තරග 69 න් තරග 40 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති පිතිකරුවන් ගණන 5 දෙනෙකු පමණක් වන අතර ඉන් තරග 50 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ උපුල් තරංග (53) හා කුසල් මෙන්ඩිස් (51) පමණි. සාපේක්ෂව ගත් කළ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටින ඉන්දියාව තරගාවලි කිහිපයකදී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගන්වා ක්‍රීඩා කරමින් වුව ද තරග 65 ක් ක්‍රීඩා කිරීමට භාවිත කර ඇත්තේ, ක්‍රීඩකයන් 42 දෙනෙකු පමණි. ඉන් ක්‍රීඩකයන් 8 දෙනෙකු නිත්‍ය ස්ථානවල ක්‍රීඩා කරමින් තරග 40 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබේ. ඔවුන් ක්‍රීඩා කර ඇත් තරග 65 න් සියලු දෙනා දැවී ඇත්තේ , තරග 11 ක දී පමණි.

ඉහත දත්ත පරිශීලනය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වරද සිදුව ඇත්තේ, නිත්‍ය කණ්ඩායමක් තොරාගැනීමට හා ක්‍රීඩකයන් අතර විශ්වාසය තහවුරු කරමින් සැලසුම් සහගතව තරග වැදීමට අපොහොසත් වීම නිසා නොවේ ද ? ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කළ ක්‍රීඩකයන් 51 අතරින් ක්‍රීඩකයන් 27 දෙනෙකු තරග 10 ක් හෝ ක්‍රීඩා කර නොමැති අතර, ඉන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කර ඇත්තේ එක් තරගය බැගින් වීම විශේෂත්වයකි. නව තේරීම් කමිටුව යටතේ ද තරග 20 ක් සඳහා ක්‍රීඩකයින් 34 දෙනෙකු යොදාගෙන ඇත. ඉන් තරග 15 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති පිතිකරුවන් වන්නේ, තිසර පෙරේරා (20) හැරුණු විට උපුල් තරංග (20) හා නිරෝෂන් දික්වැල්ල (17) යන පිතිකරුවන් දෙදෙනා පමණි. පන්දුවාර 50 ක් සැලසුමක් සහිතව අවස්ථානුකූලව ප්‍රවේගකාරී ලෙස හා සංයමයකින් යුතුව පහරදෙමින් ජයග්‍රාහී ඉලක්කයක් වෙත ගමන් කරවීමේ හැකියාව සහිත පිතිකරු අනුපිළිවෙළක් සැකසීම සිදු නොකර තනි ක්‍රීඩක දක්ෂතා මත ජයග්‍රහණ පසුපස හඹායාම සිදුකිරීම අපහසු බවට පසුගිය කාලය නිදර්ශන සපයයි.   - දත්ත මූලාශ්‍ර - ක්‍රික් ඉන්ෆෝ