ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් කෝටි 8000ක ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් කෝටි 8000ක ආධාරයක්

by Staff writer 25-09-2018 | 12:58 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 8000කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට අමෙරිකාවට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව සූදානම් බව එහි ප්‍රධාන විධායක නිලධාරි බ්‍රොක් බියර්මන් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. අමෙරිකාවට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ සභාපති බ්‍රොක් බියර්මන් මහතා සඳහන් කළේ, මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුමට අත්සන් කළ හැකි බව ද ඔහු සඳහන් කර තිබේ. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහභාගී විය හැකි නම්, ඒ පිළිබඳව කෘතඥතාව පළ කර බව පැවසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ සඳහා එකඟතාවය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, මෙරට මගී ප්‍රවාහන සේවය සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රොක් බියර්මන් මහතාට පවසා තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මෙණ්ඩෙලා සාම සමුළුව ද ඊයේ ආරම්භ විය. එහි විශේෂ දේශනයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බවයි.