"රුපියල බාල්දු වීම රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක්"

රුපියල අවප්‍රමාණය වීම රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක් - මහින්ද රාජපක්ෂ

by Staff writer 25-09-2018 | 7:10 PM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම තුළ රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව රජය ප්‍රකාශ කළත් එය සැබවින්ම වත්මන් රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක් බව ය. 2007 - 2008 කාලයේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි තත්ත්වයක් ඇති වුවත් එහි බලපෑම ලංකාවට ඇති නොවන පරිදි කළමනාකරණය කිරීමට තම රජය සමත් වූ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, 2007 රුපියල් 110.62ක් වූ අමෙරිකානු ඩොලරයක් 2009 ලෝක ආර්ථික අර්බුදය අවසානයේ යුද්ධයකට ද මුහුණ දෙමින් පවා රුපියල් 114.92ක අගයක පවත්වා ගැනීමට සමත් වූ බව ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහළ හෙළීම හා ඇතැම් ආනයනික ද්‍රව්‍යවල බදු අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුවේ වියදම් එකවර ඉහළ ගිය බව එම නිවේදනයේ සඳහන් ය. මේ අතර ඉන්ධන හා මෝටර් රථ ආනයනය වැඩි වීම වැනි ක්‍රියාදාමයන් තුළ සිදු වූ වෙළෙඳ හිඟය හා අයවැය පරතරය පියවීමට වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබා ගත් බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.