ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක්?

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක්?

by Staff writer 25-09-2018 | 6:48 AM
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි, පොලිස්පතිවරයාට දැන් වූ බව ජාතික පොලිස් කොමිසම පවසයි. එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකිරීමට නියමිත බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ දැනුම්දීම මත අදාළ නිර්දේශ කඩිනමින් යැවීමට පියවර ගන්නා බවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට පසුගියදා පියවර ගත්තේ ය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ දුරකථන සංවාද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබිණ. රජයේ රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි විමර්ශන කටයුතු ස්වාධීනව සහ කඩිනම්ව සිදු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණි බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාමල් කුමාර මහතා පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවත් ඩේලි මිරර් පුවත් පත ඊයේ වාර්තා කළේ ය.