අඩ නිරුවත් ඡායාරූප ගත් පුද්ගලයින්ට වැඩ වරදී

පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් පුද්ගලයින්ට වැඩ වරදින ලකුණු

by Staff writer 25-09-2018 | 4:19 PM
COLOMBO (News 1st) - සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන එම ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ලැබුණු පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවතින් ගත් ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබේ. අප කළ විමසීමකදී සිගිරිය පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ය. 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් අඥා පනතට අනුව මෙම ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.