ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට ඇප

ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට හා දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

by Staff writer 25-09-2018 | 7:53 PM
COLOMBO (News 1st) - ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඉන්දීය ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ මාස හතර හමාරකට අධික කාලයක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. 4 වන වරටත් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇපකරුවන් 6 දෙනෙකුගේ ඇප බැඳුම්කර මත සැකකරුවන් මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේ, ඇප නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් දෙසැම්බර් 11 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ය.