ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

by Staff writer 25-09-2018 | 6:21 AM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී ඊයේ ආරම්භ විය. ඒ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්වේ. ඉක්වදෝරයේ මාරියා ෆර්නැන්ඩර් මහත්මියගේ සභාපතිත්වයෙන් යුක්තව ඊයේ ආරම්භ වු සමුළුව දින 9 ක් පුරා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මෙණ්ඩෙලා සාම සමුළුව ද ඊයේ ආරම්භ විය. එහිදී ලෝක නායකයින් ගෝලිය සාමය ගොඩනැගීම, මානව හිමිකම් හා යුද ගැටුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, නෙල්සන් මැන්ඩලා චරිතය ලෝක සංහිඳියාවට මහත් රුකුලක් බවයි. එළැඹෙන 26 වන දා පැවැත්වෙන හමුවේදී ක්ෂය රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වනු ඇති. මේ අතර ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව 2018 ගෝලීය ඉලක්ක සතිය සහ 2018 දේශගුණය සතිය ආරම්භ වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.