සරත් ෆොන්සේකාගෙන් CIDය යළි ප්‍රශ්න කරයි

කීත් නොයාර් පැහැර ගැනීම ගැන සරත් ෆොන්සේකාගෙන් CIDය යළි ප්‍රශ්න කරයි

by Staff writer 25-09-2018 | 7:29 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. අද දහවල් 12.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සරත් ෆොන්සේකා මහතාගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 4.10ට පමණ එම ස්ථානයෙන් පිටව ගියේ ය. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගිය සමයේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ ය. මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබා ගත් ප්‍රකාශ අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. පසුගියදා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, බදුවත්ත ආරක්ෂක නිවස්නය පිළිබඳව ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ය. ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන යුද හමුදාව සතුව නොමැති බව වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. නිලධාරීන් කියා සිටියේ, නමුත් ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන කිහිපයක් ලැබීමට නියමිතව ඇති බව ය. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශය ද අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.