"යුනිෆොම් එක ගැහුවා කියලා විශේෂ වරප්‍රසාදයක් දෙන්න බැහැ" - මහින්ද අමරවීර

by Staff writer 24-09-2018 | 9:16 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැළැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර,
මම පළමු දවසේම කිව්වා මේ දුරකතන සංවාදයේ තොරතුරු අනුව අනිවාර්යෙන් ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා අයින් කරන්න මාරු කරන්න නෙවෙයි අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න කියලා. ඇයි යුනිෆොම් එක ගැහුවා කියලා විශේෂ වරප්‍රසාදයක් දෙන්න බෑ රටේ රාජ්‍ය නායකයට හිටපු ආරක්ෂක ලේකම්වරයට තමයි මේ තර්ජණය එල්ල කරලා තියෙන්නේ. එක නිසා මේක වහාන්න කවුරු හරි උත්සහා කරනවනම් අපි ඉඩ දෙන්නේ නෑ අනිවාර්යෙන් මේ පිළිබඳව කටයුතු කරනවා වගේම මේකට සම්බන්ධ වෙලා ඉන්නවනම් කවුරු හරි මේකට අනුබල දිලා තියෙනවනම් කවුරු හරි ඒ පුද්ගලයාගේ තරාතිරම අපිට අදාළ වෙන්නේ නෑ ඊට එරෙහිව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නෑ කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා
මේ අතර අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණි බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාමල් කුමාර මහතා පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවත් ඩේලි මිරර් පුවත් පත අද වාර්තා කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඝාතන සැළැස්ම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතාගේ නිවසට ඉන්දීය ජාතිකයෙකු පැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ඉතා වැදගත් වේ. ඊට හේතුව හිටපු ජනාධිපතිවරයෙකු වන ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ ඉන්දීය ඔත්තු සේවාවකට සම්බන්ධ බව කියූ බාබු නැමැත්තෙකුටයි. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හා නාමල් කුමාර නැමැත්තා අතර සිදු වූ බව කියන මතභේදාත්මක දුරකතන සංවාදයේදී පොලිස්පතිවරයාගේ ද නම සඳහන් විය. ඊට අමතරව චෝදනා කිහිපයක් එල්ල වී සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පුහුණු වැඩසටහනක් සඳහා ලන්ඩනයට යෑමට නියමිත බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් පත අද වාර්තා කළේ ය. අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්. සූරියප්පෙරුම සහ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් ද ලබන 30 වන දා ලන්ඩනයේ පුහුණු වැඩසටහන සඳහා සහභාගීවීමට නියමිත බව පුවත්පත් වාර්තාවේ සඳහන් විය.