නුවරඑළියේ රෝගීන්ට අක්ෂි රෝග වැළඳීම ගැන විමර්ශනයක්

එන්නතකින් පසු නුවරඑළියේ රෝගීන්ට අක්ෂි රෝග වැළඳීම ගැන විමර්ශනයක්

by Staff writer 24-09-2018 | 11:30 AM
COLOMBO (News 1st) : නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ, අමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මෙම උපදෙස් ලබාදී ඇති බවයි. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනය සඳහා ලබා දී ඇති මෙම එන්නත් තොගය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී තිබේ. මෙම අක්ෂි සායනයට පසුගිය දා රෝගීන් 55 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 17 ක් මෙම සංකූලතාවලට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල්ගත වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ, එම රෝගීන්ට ද යළි ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර ඔවුන් ද සුව අතට පත්වෙමින් සිටින බවයි. මෙම එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායනවලින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. මෙම එන්නත වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට පසුගිය දා අනාවරණය කෙරිණ.