එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹෙයි

by Staff writer 24-09-2018 | 6:43 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී අද ආරම්භ ‍වේ. ඒ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම , සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පස්වරුවේ සැසිවාරය අමතන අතර ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදි විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටී. ඉක්වදෝරයේ මාරියා ෆර්නැන්ඩර් මහත්මියගේ සභාපතිත්වයෙන් යුක්තව අද ආරම්භ වන සමුළුව දින 9 ක් පුරා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ. අද ලෝක සාමය පිළිබඳව අවධානයට යොමු කරමින් රාජත්‍රාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන් ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ද අද ආරම්භ කෙරෙන අතර එම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ආරාධනා ලැබී තිබේ. එළැඹෙන 26 වන දා පැවැත්වෙන හමුවේදී රාජ්‍ය නායකයින්ගේ අවධානය ක්ෂය රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් යොමු වනු ඇති. මේ අතර අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව 2018 ගෝලීය ඉලක්ක සතිය සහ 2018 දේශගුණ සතිය ආරම්භ වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.