දකුණේ පාතාලය යළි හිස ඔසවයි

දකුණේ පාතාලය යළි හිස ඔසවයි

by Staff writer 23-09-2018 | 4:03 PM
COLOMBO (News 1st) : තංගල්ලේ සහ හික්කඩුවේ අද සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් එක් වෙඩි තැබීමක් හික්කඩුව බද්දේගම පාරේ තැපැල් කාර්යාලයක් අසලදී අද පස්වරුවේ සිදුවූ අතර ඉන් පුද්ගලයෙකු ඝාතනය විය. පොලිසිය සඳහන් කළේ, අද පස්වරු 2.45 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 37 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බවයි. වෙඩි තැබීම පාතාල කණ්ඩායමක ක්‍රියාවක් බවට තොරතුරු ලැබී ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තාගේ කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බවයි. දෙපාර්ශවය අතර, කලක සිට තිබූ ආරවුලක් හේතුවෙන්, එම වෙඩි තැබීම සිදුව ඇතැයි ද එම නිලධාරියා අනාවරණය කළේ ය. මේ අතර තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී දෙවැනි වෙඩි තැබීම සිදූ වූ අතර ඉන් ද පුද්ගලයක් මියගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යතුරු පැදයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තිස්ස පාර වැලිආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ප්‍රදේශයේ වාහන සේවා සැපයුම් ස්ථානයක හිමිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.