මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම්...

මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම්...

by Staff writer 23-09-2018 | 10:03 PM
COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපතිවරණය අදයි. අද සවස 4ට අවසන්වීමට නියමිතව තිබු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව, රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසමට සිදුවිය. ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදයේ පැවති ප්‍රමාදය ඊට හේතුවයි. දූපත් 1192 කින් සමන්විත මාලදිවයින සැලකෙන්නේ ලොව කුඩා රාජ්‍යයක් හා සංචාරක පාරාදීසයක් ලෙසයි. ලක්ෂ 4ක් නොයික්ම වන ජනතාවක් වෙසෙන මාලදිවයින වෙත ලෝක දේශපාලනයේ වැඩි අවධානයක් යොමුවුයේ මතුව ඇති දේශපාලන බලඅරගලය හේතුවෙනි. 2018 ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන් දෙවන ධුර කාලයක් අපේක්ෂාවෙන් එක්ව සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඊබ්‍රහිම් මොහොමඩ් ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් එක්ව සිටී. දෙලක්ෂ හැට දෙදහස් එකසිය තිස් පහක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මාලදිවයින තුළ ඡන්ද මධ්‍යස්ථාන 472 ක් පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ද ඒ වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබිණ. මාලදිවයිනේ ඇතැම් දුපත් ආශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමටත් පෙර සිටම දිගු පෝලිම් දක්නට ලැබිණ. ජනාධිපතිවරණ අපේක්ෂකයින්ද දෙදෙනා ද අද පෙරවරුවේම සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළහ. මෙවර ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහාය හිමිව ඇති අතර විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ්ට ඉන්දියාවේ සහාය හිමිව තිබේ. මේ අතර යුරෝපීය හවුල හා එක්සත් රාජධානිය ද මාලදිවයිනේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර එරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ඉලක්ක ගත සම්බාධක පැණවීමට සුදානම් බවට ද ඔවුහු අනතුරු අඟවති. 2008 වසරේ ඔක්තෝබර් හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් ධුරයෙන් ඉවත්වු අතර ඉන්පසු ප්‍රථම වරට මාලදිවයිනේ බහු පක්ෂ ජනාධිපතිවරණයක් පවත්වනු ලැබීය. දේශපාලන අර්බුදය උණුසුම් වුයේ ජනාධිපති අබ්දුල්ලා යාමීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා සහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රටේ හදිසි නීතිය පැනවීමත් සමගයි.