තීරණාත්මක මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම අද යි

තීරණාත්මක මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම අද යි

තීරණාත්මක මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම අද යි

කර්තෘ Staff writer

23 Sep, 2018 | 7:45 am

තීරණාත්මක මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

ජනාධිපති අබ්දුල්ලා යාමීන් දෙවන ධූර කාලයක් අපේක්ෂාවෙන් මෙවර තරග බිමට පිවිස සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඊබ්‍රහිම් මොහොමඩ්.

එරට වේලාවෙන් අද උදෑසන 8.00 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00 ට අවසන් වීමට නියමිත ය.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 50000 කි.

ජනාධිපතිවරණය නිමිත්තෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත.

ඊයේ රාත්‍රියේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ මූලස්ථානය පොලීසිය යටතට ගනු ලැබිණි.

පොලීසිය පැවසූවේ, අල්ලස් ලබාදීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ මූලස්ථානය අත්පත් කරගත් බවයි.

එහෙත් මෙය ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවට විපක්ෂ නීතිඥයින් චෝදනා කරනු ඇත.

ජනපති අබ්දුල්ලා යාමීන් මෙවර දෙවැනි ධූර කාලය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැඩි ජනතා විරෝධය මධ්‍යයේ යි.

ජනාධිපතිවරයා පැවති ඡන්ද ක්‍රමය වෙනස් කිරීමත් සමග ජනාධිපතිවරණයේ නීත්‍යානූකූලභාවය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවට ජනතාව චෝදනා කරති.

පසුගිය පෙබරවාරී මාසයේදී අබ්දුල්ලා යාමීන්ගේ රජය, මාලදිවයින් අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ ඇතිවූයේ දැඩි නොසන්සුන්තාවක් ය.

දිනෙන් දින වර්ධනය වන රජයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මාලදිවයින් ජනතාව රජයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් ආරම්භ කළහ.

පසුව ජනපති අබ්දුල්ලා යාමීන් හදිසි නීතිය ද පනවනු ලැබීය.

පසුගිය කාලයේ අබ්දුල්ලා යාමීන්ගේ රජයේ ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ජාත්‍යන්තරයේ සෘජු අවධානය මාලදිවයින කෙරෙහි යොමු විණි.

මෙවර ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහාය හිමිව ඇති අතර විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ්ට ඉන්දියාවේ සහාය හිමිව තිබේ.

මේ හේතුවෙන් මෙවර මාලදිවයින් ජනාධිපතිවරණය, චීනය සහ ඉන්දියාව අතර සටහන් බව විදෙස් මාධ්‍ය පවසයි.

දූපත් 1192 කින් සමන්විත මාලදිවයිනේ පුද්ගලයින් 4 ලක්ෂයක් පාලනය කිරීමේ බලය අබ්දුල්ලා යාමීන් යළි සියතට ගනීවිදැයි ලෝකයම අවධානයෙන් සිටි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]