ජය ඝෝෂා හා හූ හඬ මැද විවෘත වූ අත්තනගල්ලේ පාලම...

ජය ඝෝෂා හා හූ හඬ මැද විවෘත වූ අත්තනගල්ලේ පාලම...

by Staff writer 22-09-2018 | 7:56 PM
COLOMBO (News 1st) - අත්තනගල්ල ඔය හරහා වැටී ඇති අත්තනගල්ල ගෝනෑගල පාලම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. එහිදී පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් විරෝධය දැක්වීමත් සමග ඇති වුණේ උණුසුම්කාරී තත්ත්වයකි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල ගෝනෑගල පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි. එම පාලම ඉදිකිරීම ආරම්භ කළේ ඉකුත් පාලන සමයේ බව පවසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ ආධාරකරුවන් පිරිසක් පාලම අසන්නයේ විරෝධතාවයේ නිරත වූහ. අවසානයේ පාලම විවෘත කෙරුණේ, පිරිසකයේ ජය ඝෝෂා සහ විරෝධතාකරුවන්ගේ හූ හඬ මධ්‍යයේ ය. පාලම විවෘත කිරීමෙන් අනතුරුව උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර අප වාර්තාකරු පැවසුවේ, ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා උත්සවය ඇමතීමට පෙර එම ස්ථානයේ විදුලි බලය විසන්දි වූ බව ය. කෙසේ නමුත් විරෝධතාකරුවන්ගේ හූ හඬ මධ්‍යයේ අමාත්‍යවරයා පිරිස ඇමතුවේ ය.