ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

22 Sep, 2018 | 6:35 am

දේශිය පුවත්

1. රවී කරුණානායකට දුන් අධිකරණ නියෝග තාවකාලිකව අත්හිටුවයි: බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත රවී කරුණානායක මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පරිදි නිකුත් කළ සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නියෝග ස්ථිරවම අවලංගු කරන්නේ ද නැති ද යන්න ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

2. සයිටම් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග: සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය.

3. නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදීමට දුර්වලවීම ගැන ජනපතිගේ කනගාටුව: නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ඊයේ පෙරවරුවේ මහවිලච්චියේදී සාරවත් දේශයක වාපි සංග්‍රාමය, වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

4. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ්: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල් එරන්ද පීරිස් මහතා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

5. ප්‍රසන්න රණවීරට හා විමල් වීරවංශට පාර්ලිමේන්තු තහනමක්: ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සති කිහිපයකට අත්හිටුවනු ලැබුවේ ය.

ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවේ.

6. ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් කිහිපයකට ආසන සංවිධායක ධූර අහිමි වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර තිබේ.

විදෙස් පුවත්

7. වික්ටෝරියා විලේ මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය ගණන 86 ක් දක්වා ඉහළට: ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් මගීන් 100 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි.