2019 ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට

2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට

by Staff writer 21-09-2018 | 1:05 PM
COLOMBO (News 1st) - 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය දිවයිනට රැගෙන ආවේ ය. ඒ, එම කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාවේ තවත් එක් අදියරක් ලෙසයි. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ දිනයෙදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ 1996 ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමට නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් එම කුසලානය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් හැර ජාතික කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු එම අවස්ථාවට සහභාගී නොවීම ද විශේෂත්වයකි. මෙම කුසලානය දින 4ක් පුරා ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර නගර කිහිපයක සංචාරය කිරීමට ද නියමිත ය. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් සඳහා ද මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11කට ලෝක කුසලානය මෙවර රැගෙන යාමට නියමිත ය. ලෝක කුසලානය රැගත් කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි 19 වන දා මහා බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ලෝක කුසලානය රැගත් සංචාරය අවසන් වේ.