සීනි බදු වැඩි කිරීම පිටුපස සිටින මහමොළකරු කවු ද?

by Staff writer 21-09-2018 | 10:00 PM

COLOMBO (News 1st) - ජනතාවට නොදැනන අයුරින් ඔවුන්ගේ මුදල් සොරකම් කළ අවස්ථා ගණනාවක් අපි පසුගිය දිනවල වාර්තා කළෙමු.

එහි අලුත්ම පුවත වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට සීනි ගෙන්වීමේ ව්‍යාපාරය හරහායි. සීනි සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 31.00 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වාදීමට පසුගිය අඟහරුවාදා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය. මේ අනුව පිටරටින් ගෙන්වන සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා තීරුබදු රුපියල් 8.00 ක්, රුපියල් 30.00 ක නිෂ්පාදන බද්දක්, 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් සහ තව ත් 7.5% පමණ වරාය හා ගුවන්තොටුපොළ බද්දක් අය කරනු ලැබේ. අනයනකරුවන් පවසන පරිදි අද ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක මිල දළ වශයෙන් රුපියල් 56 ක් පමණ වේ. නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අද වනවිට දැරිය යුතුව ඇති බදු ප්‍රමාණය රුපියල් 43.00 ක් පමණ වනු ඇත. මේ අනුව රුපියල් 31 ක්ව තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව පැන වූ නව බදු ව්‍යුහය නිසා සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අමතරව රුපියල් 12 ක පමණ මුදලක් දැරීමට ආනයනකරුවන්ට සිදු ව තිබේ. මුදල් අමාත්‍යාංශයේ තර්කයවී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් සිල්ලට වෙළෙඳපොළට මෙම වෙනස බලපෑමක් ඇති නොකරන බවයි. නමුත් මෙම බදු පැනවීමට පෙර තොග වෙළෙඳපොළේ රුපියල් 91 කට පමණ අළෙවි වූ සීනි කිලෝග්‍රෑම් එකක මිල අද වනවිට රුපියල් 103 ඉක්මවා ඇත. දළ වශයෙන් රුපියල් 10 කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ පමණක් සීනි කිලෝග්‍රෑම් එකක මිල වැඩිවී ඇත. ඊයේ පාරිභෝගික අධිකාරියට පැමිණ සීනි ආනයනකරුවන් කළ සාකච්ඡාවේදී අනාවරණය වූයේ, සීනි මෙට්‍රික් ටොන් හතලිස් දහසක් පමණ මෙම බදු වෙනස්කමට පෙර මෙරටට ගෙන්වා ගබඩා කරගෙන ඇති බවයි. මෙම තොග සීනි ව්‍යාපාරිකයින් තිදෙනෙකු සතුව පවතින බව ද එහිදී අනාවරණය විය. එහිදී ප්‍රකාශ වූයේ පිරමිඩ් විල්මර්, විල්සන් ට්‍රේඩින් සහ පල්ලෙගොඩ ට්‍රේඩින් නමැත් සමාගම් තුන සතුව මෙම තොග ඇති බවයි. සීනි ආනයනකරුවන් පවසන ආකාරයට ඉන් එක් සමාගමක් බදු වෙනස් කිරීමට පෙර සෙසු ව්‍යාපාරිකයින් සතුව තිබූ තොග ද මිලදී ගෙන තිබේ. රුපියල් 10.00 කින් සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල වැඩිවූයේ යැයි උපකල්පනය කළොත් දළ වශයෙන් මේ ව්‍යාපාරිකයින් තිදෙනාට මෙට්‍රික් ටොන් හතලිස් දහසෙන් පමණක් ලැබෙන ලාභය රුපියල් මිලියන 400 කි. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? මුදල් අමාත්‍යාංශය නිවේදන පිට නිවේදන නිකුත් කරමින් සීනිවල සිල්ලර මිල වැඩිවන්නේ නැතැයි ප්‍රකාශ කළත් මේ වනවිටත් තොග මිල පමණක් රුපියල් 12 ඉක්මවා වැඩිවී තිබේ. අවසානයේ සිදුව ඇත්තේ ජනතාව මත මෙම බර පටවා උපයා ගන්නා ලාභයෙන් වැඩි කොටස ව්‍යාපාරිකයින් තිදෙනෙකු විසින් බෙදා ගැනීමයි. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානයට.