ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධූරවල වෙනසක්

ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් කිහිපයකට ආසන සංවිධායක ධූර අහිමි වෙයි

by Staff writer 21-09-2018 | 9:00 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති වීම හේතුවෙන් ඔවුන් සංවිධායක ධූරවලින් ඉවත් කර, නව සංවිධායකරුවන් පත් කිරීමට පියවර ගත් බව ය. ඉවත් කරන ලද ආසන සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කිරීම අද පස්වරුවේ සිදු කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.