බංග්ලාදේශයට, ඇෆ්ගනිස්ථානය හමුවේ දැවැන්ත පරාජයක්

බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට

by Staff writer 21-09-2018 | 7:33 AM
(News 1st) - ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255කි. ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 28ක් තුළ බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් ශාසාඩ් සහ හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගූහ. සිය එක්දින දිවියේ 3 වන අර්ධ ශතකය ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩනැගූ හෂ්මතුල්ලා ශහිඩි දැවී ගියේ ලකුණු 58 ක් රැස් කර ගෙන සිටියදී ය. ලකුණු 160කට කඩුලු 7ක් දැවී පසුබෑමකට ලක්ව සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ඔවුන්ගේ ඉනිමේ 8 වන කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 95ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට ගුල්බදින් නයිබ් සහ රෂීඩ් ඛාන් සමත් වීම විශේෂත්වයකි. එහිදී වේගවත් පිති හරඹයක නිරත වූ රෂීඩ් ඛාන් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය. රෂීඩ් ඛාන්ට අනගි සහයක් ලබා දුන් ගුල්බදින් නයිබ් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 කි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් කරා හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය. ශකීබ් අල් හසන් ලකුණු 32ක්, මහ්මුදුල්ලා ලකුණු 27 ක් සහ මොසැඩෙක් හුසේන් නොදැවී ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූහ. තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත් රෂීඩ් ඛාන් පිතිකරණයෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ අතර පන්දුවාර 9 ක් නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 13කට ඔහු දවා ගත් කඩුලු ගණන 2කි. මුජීබ් උර් රහ්මන් සහ ගුල්බදීන් නයිබ් කඩුලු 2 බැගින් දවා ගනිමින් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.