නියං සහනාධාර වෙනුවෙන් රජයෙන් මිලියන 9000ක්

නියං සහනාධාර වෙනුවෙන් රජයෙන් මිලියන 9000ක්: සහන කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 21-09-2018 | 9:11 AM
COLOMBO (News 1st) - දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. මෙම සහන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 9000කි. වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයින් 420,000ක් පමණ දැඩි පීඩාවට පත්ව ඇති අතර ඔවුන් සඳහා සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ද ලබා ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සහනාධාර ලබා දීමේ වැඩසටහන අද සහ හෙට ක්‍රියාත්මක බව ය. ඒ අනුව වියළි ආහාර මල්ලක් සමුපකාර හරහා ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මේ අතර එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය හරහා වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ අද ආරම්භ වේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම අනුරාධපුර මහවිලච්චිය නැඹඩගස්දිගිලිය වැව කේන්ද්‍ර කර ගනිමින් අද සිදු කෙරෙන බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී විලච්චිය, නොච්චියාගම හා මහවිලච්චිය, දුනුමඩලාව එල්ලංගා පද්ධතිය එලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව මහවැලි සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයේ වැව් 17ක් මේ යටතේ ප්‍රතිසංස්කරණය කරන බව ය.