ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක්

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක්

by Staff writer 21-09-2018 | 10:42 AM
COLOMBO (News 1st) - ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය. ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ මරණ 13ක් වාර්තා වී තිබේ. පසුගිය වසරේ එම සංඛ්‍යාව 23කි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දත්ත අනුව මේ වසරේ සුනඛයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට පමණක් ජලභීතිකා මර්ධනයට එන්නත් කර තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සුනඛ ගහණයෙන් 80%ක් එන්නත් විය යුතු ය. නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මෙරට සුනඛ ගහණය ලක්ෂ 20කට අධික බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මීට වසර දෙකකට පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් සුනඛ එන්නත් කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති බව ය. එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.