කැබිනට් මණ්ඩලය ගැන අනුර දිසානායකගේ මතය

by Staff writer 21-09-2018 | 9:58 PM

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලය ගැන අද පාර්ලිමේන්තුවේදී විග්‍රයක් කළේ ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක‍ අනුර කුමාර දිසානායක,
අපේ රටේ ඉතාමත් වැදගත් සම්පතක් බවට පත් වී තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය මුලුමනින්ම ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමේ සැලැස්මක් තමයි තියෙන්නේ. වර්තමාන ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියේ ඉතාම භයානකකාරී ක්‍රියාවලියකට තමයි පසුගිය අගෝස්තු මාසේ 7 වන දා කැබිණට් මණ්ඩලයේ තීරණය අරන් තියෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයම 2016 යේ 6 වන මාසේ 1 වන දා මෙම තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාව හරහා සංවර්ධනය කිරීමටත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක් වැය වන බවටත් එය වසර 4 ක් ඇතුළත ප්‍රතිපූර්ණය කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයම තීර්ණය කලා. අපි නෙවෙයි. 2016 යේ 6 වන මාසේ 1 වදා කැබිනට් පත්‍රිකාව අනුමත කරන්නත් නැවත එය ප්‍රතික්ෂේප කරන්නත් හේතුව කුමක්ද කියලා පාර්ලිමේන්තුවට අදාළ අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතුව තියනවා. මෙම ටැංකි පද්ධතියේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදී එම කටයුතු අදිසි හස්තයක් විසින් නතර වූ බව ද අපුගිය කාලයේ වාර්තා වුනා. මෙම ජාතික සම්පත රටට අහිමි වීමේ අවදානමක් මතුවී අවසන්. රටේ ජාතික සම්පත් අළෙවිකරණ බෝකර්වරුන්ගේ සංගමයක් බවට මේ කැබිනට් මණ්ඩලය පත් වෙලා හමාරයි. තමුන්නාසේලා තීරණ ගන්නේ ජාතික සම්පත් විකුණන්න. තමුන්නාසේලා දන්නවා මේකට ඇවිත් උත්තර දෙන්න බැරි බව. ඒක තමයි අර්ජුන රණතුංග තෙල් සංස්ථාව භාර ඇමතිවරයා, අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරිය මේ අවස්ථාවට සහභාගී නොවෙන්නේ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක‍ අනුර කුමාර දිසානායක,
ඔබතුමා කැබිනට් මණ්ඩලයේ හිටියනේ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
අදාළ ඇමතිවරයා එන්න එපැයි. ඔබතුමා මගෙන් අහුවනම් මම උත්තර දෙනවා.