ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 4කින් පහළ යයි

ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 4කින් පහළ යයි

by Staff writer 21-09-2018 | 6:57 AM
COLOMBO (News 1st) - ඉහළ දැමූ සීනි තොග මිල ගණන් යළි සංශෝධනය කළ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති පී.එම්. අබේසේකර මහතා සඳහන් කළේ, රුපියල් 15ක් දක්වා ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 11ක් දක්වා සංශෝධනය කර ඇති බව ය. ඒ අනුව සීනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 101ක් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මුදල් අමාත්‍යංශය පසුගිය 19 වන දා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සිල්ලර මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව ය. පසුගිය 18 වන දා සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන යටතේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 42ක බද්දක් අය කළ පසු ද ආනයනකරුවන්ට සීනි ආනයනයෙන් ලාභයක් තිබෙන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. මුදල් අමාත්‍යංශය පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ සීනි මිල අඩු වීම මේ තත්ත්වයට හේතුව බව ය.